ආයතනය පිළිබඳ හැඳින්වීම

  •  

    බිහිවීම

    13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ග්‍රාම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලතල පළාත් සභාව වෙත පවරා ඇති අතර 2013 අංක 02 දරණ ග්‍රාම සංවර්ධන ප්‍රඥප්තිය මගින් බස්නාහිර පළාතේ ප්‍රජා සංවිධාන මෙහෙයවීම හා අධීක්ෂණය ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති සුවිශේෂි වගකීමකි.

  • ඒ අනුව බස්නාහිර පළාත තුළ ජීවත් වන ජනතාවගේ ආර්ථික, සාමාජීය, සෞඛ්‍ය, අධ්‍යාපන, සදාචාරාත්මක හා සංස්කෘතික අභිවෘද්ධිය ඇති කිරීම මෙම අමාත්‍යාංශයේ අපේක්ෂාවයි. එම ඉලක්ක වෙත ලඟාවීම සඳහා ග්‍රාම සංවර්ධන සමිති, කාන්තා ග්‍රාම සංවර්ධන සමිති සහ වෙනත් ප්‍රජා මුල සංවිධාන ස්වශක්ති මත පදනම්ව කටයුතු කිරීම සඳහා බලගැන්වීම ග්‍රාම සංවර්ධන අංශයේ දැක්මයි.

     

  •  

    මේ වන විට බස්නාහිර පළාත තුළ ග්‍රාම සංවර්ධන නිලධාරින් 29ක් සිටින අතර සංවර්ධන නිලධාරින් 05 දෙනෙක් වැඩ බැලීමේ නිරත වෙමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 40 ම ආවරණය වන පරිදි ග්‍රාම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වේ. දැනට ක්‍රියාකාරි මට්ටමේ සක්‍රීය ග්‍රාම සංවර්ධන සමිති සංඛ්‍යාව 1281 ක් පමණ ඇති අතර ප්‍රාදේශීය බල මණ්ඩල 23 ක් පිහිටුවා ඇත. අනුමත වී ඇති දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරි තනතුරු 03 හා පුරප්පාඩු ග්‍රාම සංවර්ධන නිලධාරි තනතුරු 11 සඳහා බඳවාගැනීම් මෙම වර්ෂය ඇතුළත සිදුකරනු ලැබේ.

  • එමෙන්ම දැනට මැහුම් උපදේශිකාවන් 28 ක් සිටින අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 29 ක ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ. මෙම පාඨමාලාව යටතේ මැහුම්, ගෙතුම්, අත්කම්, ගෘහ කළමනාකරණය හා රූපලාවන්‍ය පුහුණුව ලබා දේ. ඉතිරි පුරප්පාඩු මැහුම් උපදේශක තනතුරු සඳහා බඳවා ගැනීම් මෙම වර්ෂය ඇතුළත සිදුකරනු ලැබේ.

     

  •  

    ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානවල එක් පාඨමාලාවකට සීමා වී පැවති විෂය නිර්දේශය පාඨමාලා 05 ක් ලෙස වෙන් වෙන් වශයෙන් සංශෝධනය කිරීම තුළින් පුහුණුලාභීන්ගේ අවශ්‍යතාවය හා කැමැත්ත අනුව පාඨමාලා තෝරාගත හැකි අන්දමින් නවීකරණය කර ඇත.

  • බස්නාහිර පළාත තුළ හඳුනා ගත් ඌන සංවර්ධිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති, අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති, ප්‍රජා ජල ව්‍යාපෘති, ප්‍රජා ශාලා ඉදිකිරීම් ව්‍යාපෘති හා ප්‍රජා මුල සංවිධාන සවිබල ගැන්වීම සඳහා උපකරණ ලබාදීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙනු ඇත.